Tuesday, December 19, 2017

කැළඹිල්ල


ගීතයක අරුත සොයා යමු








ර හඳ පායන ලෝකේ

අලෝකය අතරේ

සැප දුක සමබර වේ 

මේ ජීවින කතරේ...//
සැප දුක සමබරවේ...



උකුලේ ලමැදේ සමබර උසුලන//

ගැමි ලිය යන ගමනේ 

මුදු බඳ නැලවෙන සේ

කඳූවැටි ගංගා සාගර එකසේ  //
පොළොවට සමබර වේ
මේ ජීවින කතරේ...//
සැප දුක සමබරවේ...


වැඩිවන ආශා මැනලන වේගේ//
ජීවන මග කැලඹේ

ඒක රස මුසුවේ

මහ මඩ වගුරේ වන විල් මතුවේ
පියුම් පිපී නැටවේ 
මේ ජීවින කතරේ...//
සැප දුක සමබරවේ...


ගායනය - ඩබ්.ඩී. අමරදේව
පද රචනය - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
සංගීතය - ඩබ්.ඩී. අමරදේව


අමරදේව ලකුණ ලංකාවේ කලා කෙත නම් නිලඹරට පෑයූ පුන් සඳක්ම ය. චන්දුරත්න මානවසිංහ නම් සොඳුරු මිනිසා අතින් ලියැවුණු එම අසහාය ගායන ශිල්පියාගේ තවත් එක් ගීතයක අරුත සෙවීමට ගත් වැයමකි මෙය. බුද්ධාගමෙහි ඉගැන්වෙන අනිත්‍යභාවය, අස්තිරභාවය සෑම දෙයක් ගැනම කියැවෙන මෙම ගීතය ශ්‍රාවක මනසට වින්දනයක් මෙන්ම දැවැන්ත පණිවිඩයක් ද ලබා දෙනු ලබනවා. මෙම පදවැල හඬ මෙන්ම සංගීතය ද ශ්‍රාවක හදවත් තුළටම මෙම පණිඩිඩය ලබා දෙනු ලබනවා..

ඉර හඳ පායන ලෝකේ
අලෝකය අතරේ
සැප දුක සමබර වේ 
මේ ජීවින කතරේ...//
සැප දුක සමබරවේ...

ඉර පායනකොට හඳත් පායනවා. අපිට නොපෙනුනත් ලෝකෙ කාටම හරි පේනවා. අනිවාර්යයෙන් හ‍්පායනවාමයි. ඒ වගේම තමා සැප දුක කියන්නෙත්. ඒක අනිවාර්යයෙන් සමබරයි. හරියට කන්දක් නැග්ගොත් පල්ලමක් හම්බ වෙනව වගේ.

උකුලේ ලමැදේ සමබර උසුලන//
ගැමි ලිය යන ගමනේ 
මුදු බඳ නැලවෙන සේ
කඳූවැටි ගංගා සාගර එකසේ  //
පොළොවට සමබර වේ
මේ ජීවින කතරේ...//
සැප දුක සමබරවේ...

නාරිලාලිත්‍ය ගැනනෙ කියන්නෙ මේකෙන්. ගැහැණු කෙනෙක් ලතාවට ගමන් කරනකොට ලස්සනයි. පැද්දි පැද්දි ගියත් පොළවට සමබරයි නේද? ඒ වගේමයි පපුව. ඉස්සරහට ආවට බර වැඩී කියල දැනෙන්නෙ නෑනෙ. හැම දේම සමබරයි.ඉස්සරහට වැටෙන්න වගේ නෑනේ. ඒ වගේම ක‍ඳු, ගංගා, සාගර හැම එකම පොළවට සමබරයි. මුහුද ලොකුයි බරයි කියල මුහුද පැත්තට බර වැඩි වෙන්නෙ නැ නෙ. ඒ මේ ජීවිතේ කියන කතරේ සැප වගේම දුක හැම වෙලේම සමබරයි කියල කියන්නෙ. නමුත් කාන්තාවක් වැනුමකට යොදාගෙන  කාන්තාව උපමා කොටගෙන රචකයා කීමට උත්සාහ ගනුයේ කාමය ද අස්ථිර බව ය. ව්‍යංගයෙන් එය රසික හදවත් තුට ගෙන යාමට රචකයා වචන උපයෝගී කොටගෙන ඇති බවට හැඟී යයි.

වැඩිවන ආශා මැනලන වේගේ//
ජීවන මග කැලඹේ
ඒක රස මුසුවේ
මහ මඩ වගුරේ වන විල් මතුවේ
පියුම් පිපී නැටවේ 
මේ ජීවින කතරේ...//
සැප දුක සමබරවේ...

ආශාවල් වැඩිවෙන්න වෙන්න ජීවිත මග කැළඹෙනවලු. එකම තැන කරකෙනව නේද. වැඩියෙන් හම් වෙනකොට සතුටු වෙනවා. අඩුවෙන් හමුබවෙන කොට දුක් වෙනවා. එකම තැනනෙ.  මඩ වගුරෙනෙ නෙළුම් පිපෙන්නෙත්.  බුදුන්ට ගෞරවයෙන් පූජා කරන්නෙ ඒ නෙළුම් මයි. සුවඳයි නේ. ඒ උනාට පිපෙන්නෙ ගඳ ගහන වතුරෙ. මඩේ නේ. ඒ වගේම තමා අපේ ජීවිතෙත්. අපි ඉපදුන විදිහටම මැරෙනවට වඩා අපේ නම රැඳෙන විදිහෙ දෙයක් අපෙන් දීල මැරෙන්න කියල තමා කියන්නෙ. මෙම ආශාවන් අතරට රතිය, මුදල්, තන්හාව, ආශාව වැනි සෑම දෙයක්ම ඇතුළත් වන අතර එය කවියා "වැඩිවන ආශා මැඩලන වේගේ...." යනුවෙන් ආශාවන් නම්නොකොට පොදුවේ සියලුම ආශාවන් හඳුන්වා දීමට මෙම වචන අපූරුවට භාවිත කර ඇත. 

කුණු ගොඩක ඉපදිලා කුණු ගොඩක ජීවත්වෙලා කුණු වෙලා මැරිල මැරිලත් කුණු වන ශරීරයේ අස්ථිර බව මෙයින් මනාවට පැහැදිලි වන අතර ධර්ම දේශනාවක් විනාඩි තුනකට සීමා කිරීමක් දෝයි විටෙක සිතට නැගේ. ප්‍රබල පණිවිඩයක් ඉතාමත් සරළව පැහැදිලි කරනු ලැබේ.

Sunday, December 17, 2017

නව කතාව යනු.......

නව කතාව යනු,

"නවකතාව යනු, සමකාලීන සමාජය පිළිබිඹු කරන කැටපතකි"

-ජී. බී. සේනානායක-

"නවකතාව යනු, සත්‍ය හා කල්පිතය අතර මනා සංකලනයකි"

"නවකතාව යනු, කතාවක් හා චරිතයන්ගේ මාර්ගයෙන් කතාකරුවා විසින් තම අත්දැකීම් හෙළි කිරීමකි"

"නවකතාව වූ කලී අව්‍යාජ ජීවිතයේ සහ ගති සිරිත්වලත්, එය රචනා කරනු ලබන කාලය පිළිබඳව ත් චිත්‍රයකි."


කෙටි කතාව

"කෙටි කතාව එකම සිදුවීමක් කේන්ද්‍ර කොට ගෙන මෙන්ම සිදුවීම් කිහිපයක් අතරින් නිර්මාණය විය හැකි ය."
-ජී. බී. සේනානායක-

"කෙටි කතාවත් නව කතාවත් අතර වෙනස රඳා පවතින්නේ ධාරණාව පිළිබඳ ප්‍රශ්න උඩ ය. කෙටි කතාව එක් පුබල ධාරණාවක් ලෙස ඉදිරිපත් කරයි. එහෙත් විස්තෘත අත් දැකීම් නිරූපණය කරන නවකතාවක් තුළින් ධාරණා රාශියක් ඉදිරිපත් කරනු ලැබේ."
-මහාචාර්ය විමල් දිසානායක මහතා-

"කෙටි කතාව එකම සිදුවීමක් කේන්ද්‍ර කොට ගෙන මෙන්ම සිදුවීම් කිහිපයක් අතරින් නිර්මාණය විය හැකි ය."
-ජී. බී. සේනානායක-


Friday, December 15, 2017

කලා මාධ්‍යයෙන් අර්ථ විවරණය කිරීම.

කලා මාධ්‍යයෙන් අර්ථ විවරණය කිරීම.

කෙටි කතාව යනු.....

කෙටි කතාවෙන් ප්‍රකාශ කෙරෙන අදහසක් කතා කරුවා තුළ පෙර තිබිය යුතු ය. ඒ අදහස හා සම්බන්ධ නොවන එකම වචනයකුදු මුළු රචනයේම කිසිම තැනක නොතිබිය යුතුය. කෙටි කතාවෙන් කියවෙන අදහස පැටලිලි නැතිව ප්‍රකාශ විය යුතුය...
-එඩ්ගා ඇලන් පෝ-

කෙටි කතාව වනාහි මනුෂ්‍ය ස්වභාවය පිළිබඳ විවරණයක් කළ හැකි වාහනයක් වන අතර කෙටි කතාව චරිතය, සිද්ධි පසුබිම හා අභිප්‍රේරණයට නතු වී ඇති අදහස අවියෝජනීය ලෙස බද්ධ කළා වූ රසාස්වාදයක් සැලකිය හැකි මාධ්‍යයකි...
-එඩ්ගා ඇලන් පෝ-

කෙටි කතාවක් මුල මැද අග යන තුන් කොටස සහිතව නිම කළ කලා කෘතියක් විය යුතුය.
-සමසෙට් මෝම්-

කෙටි කතාව යනු, ජීවිතයෙන් අංශුමාත්‍රයක්, ජීවිතයෙන් පෙත්තක් නිරූපණය කරන මාධ්‍යයකි.
-ඇන්ටන් චෙකොෆ්-

කෙටි කතාව වූ කලී අනික් සියලු සිද්ධීන් අභිබවා සිටින එක් ප්‍රබල සිද්ධියක් හා ඉස්මතු වී පෙනෙන එක් ප්‍රධාන චරිතයක් අනාවරණය කරන්නා වූ ද, එකට කැටි වී සිටින කතා වින්‍යාසයකින් යුක්ත වූ ද, මනා අවයව සංවිධානයක් ඇත්තා වූ ද කෙටි වූ කල්පිත අඛ්‍යාපයකි.

මගේ මතය නම් සාර්ථක කෙටිකතාවක් තුළ නවකතාවක දැකිය හැකි සියලු ලක්ෂණ ඇතුළත් වන අතර, ඊට අමතරව විශේෂ ලක්ෂණ ද අන්තර්ගත වන බව ය. කෙටි කතාවක හා නවකතාවක වෙනස දියමන්තියක් හා කන්දක් අතර ඇති වෙනසට සමාන වේ..
-ෆෙඩ්රික් පර්කින්-


කෙටිකතාකරුවා අවස්ථාවක් නිරූපණය කිරීම කෙරෙහි අවධානය යොමු කරන අතර, නවකතාකරැවා චරිත නිරූපණය කෙරෙහි සැලකිලිමත් වේ.

-ඉඩ්න් වෝර්ටන්-


එකක් කිව යුතු ය. කෙටිකතාවට කිසිදාක, කිසිම කිසිදාක නවකතාවේ සාරාංශයක් විය නොහැකි ය. එය වෙන ම කලා මාධ්‍යයකි. වීර කාව්‍යකට වඩා සොනට් (Sonet) කාව්‍යක් වෙනස් වන්නා සේ එය වෙනම කලා මාධ්‍යයකි.

-1889, Sir Fredrick Wedmore, The Short Story on Books and Arts-

Tuesday, December 12, 2017

ගීතයක සැබෑ අරුත සොයා යමු...

ගීතයක අරුත සොයා යමු...



වක්කඩ ළඟ දිය වැටෙන තාලයට...

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට
තිත්ත පැටව් උඩ පැන නැටුවා
වැස්ස වහින්නට ඉස්සර අහසේ
වලාකුලෙන් විදුලිය කෙටුවා
කිව්වට වස් නැත නිල් නිල් පාටින්
කටරොළු මල් වැට වට කෙරුවා
තුන් දවසක් අමනාපෙන් සිටි කලු
නෝක්කාඩු බැල්මෙන් බැලුවා.......

ගල මතුපිට මල පිපෙන්න
මල වට බඹරිඳූ නටන්න
වැහි වැහැලා ගඟ පිරෙන්න
ගඟ උතුරා හිත පිරෙන්න....

ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ
හිනාවෙයන් කලු හිනාවෙයන්
වෙලා මගේ හිත ඉනාවකින් තව
හිනාවෙයන් කලු හිනාවෙයන්.....

ගේය පද: මහගම සේකර
ගායනය: පණ්ඩිත් අමරදේව
සංගීතය




         කුඹුරකට, වැස්සකට, ලස්සන මල් වනයකට රසික හදවත් සීමා කරමින් ගලාගෙන යන මෙම ගීතය වටා ගෙතුණු අපූර්ව කතාන්දරයක් ඇත. දඟකාර, අහංකාර පෙම්වතියක් හා ගැහැණියට පමණක් සීමා වූ ස්වභාවික සන්සිද්ධියක් අවසන තම පෙම්වතා හමුවට යන තරුණියක් වටා මෙම ගීතයේ කතාව ගෙතී ඇත. නමුත් තව දුරටත් මෙය විමසා බැලීමේ දී...

           වක්කඩ යනු, ගැමි දිවියේ නිතරම ඇසෙන වචන වලින් එකකි. යල මහ දෙකටම ලියද්ද සරු කිරීම උදෙසා නිසි ජල පරිමාව මෙම වක්කඩ හරහා සැපයේ. නිතරම ජල සැපයුමක් නොමැති කුඹුරු සඳහා මෙම වක්කඩ අනගි මෙහෙයක් කරන අතර ගොවියා නිතරම උත්සාහ ගන්නේ වක්කඩ නිසි අයුරින් සැකසීමටයි. වතුර හොඳින් බැස යාමට, ලියැදිවල පිරුණු වැඩි වතුර පිටාර යැවීමට වැනි ප්‍රධානම කාර්යයකට සහය දෙන මෙම වක්කඩවල් කිහිපයක් ඇත. දිය වක්කඩ, ඉස්නං වක්කඩ, සහ පා වක්කඩ  ඉන් කිහිපයකි. මුළු කුඹුරේම ජීවය රැඳී පවතින්නේ මෙම වක්කඩ මත යනුවෙන් ද යම් ආකාරයකින් අර්තකතනය කළ හැක. රචකයා කාන්තාව වක්කඩකට සමාන කරන්නට උත්සාහ ගන්නේදෝයි විටෙක සිතෙන්නේ, මිනිසාගේ ජීවය හා පැවැත්ම යන සෑම සාදකයකටම කාන්තාව ගේ මෙහෙය ද අති මහත් වන බැවිනි. කුමන ආකාරයේ හෝ ජල ප්‍රභවයකින් ලබා ගන්නා ජලය මනා ලෙස කළමණාකරණය කරන්නා සේම කාන්තාව ද පවුලක් මනාව කළමණාකරණය කරයි.

            එවන් වූ කුඹුරකට දිය සපයන ඇලක් අසබඩ දී හමුවන දෙදෙනෙකුගේ සුන්දර ආදර කතාවක් සුන්දර පද වැලකින් අපට ගෙන ඒමට මෙම ශිල්පීන් තිදෙනාම මනා උත්සාහයක් ගෙන ඇත. සංගීත ශිල්පියා නිවැරදිවම හඳුනාගෙන නැතත් ගීතයේ ජීවය මනාව රැකීමට මේ තිදෙනාගේම සුසංයෝගය මනාව ගැලපේ.

          මේ වැසි කාලයක දිනයක් වශයෙන් සිතිය හැක. වැසි කාලයට පරිසරයේ ඇති වන සියුම් වෙනස්කම් පවා රචකයා රසික හදවත් තුළටම මනාව කාවද්දවයි. රසිකයාගේ සිත ගීතය තුළම රඳවා ගැනීමට මෙම සියුම් තැන් මනාව ගලපා ඇත. මෙහිදී කාන්තාවගේ සුන්දරත්වය මෙන්ම සාමාන්‍ය ගතිය ද මැවීමට යම් උත්සාහයක් රචකයා ගෙන ඇත. සාමාන්‍ය පෙම් කතාවකට ඔබ්බෙන් ගිය දෙයක් මින් කියැවෙන බව නම් පැහැදිලි ය. විදුලි කෙටීම් ගෙරවීම් වැනි දේ වලින් සේකරයන් කාන්තාවගේ සිනහව හා තරහව නිරූපණය කරන්නට යම් තැතක් ගත්තාදෝ යි සිතීමට ද  හැකි වේ. තරහව යනුවෙන් මෙහිදී අදහස් කළ හැක්කේ සුන්දර තරහවකි. අකුණු ගසන විට භයංකර වුව ද එය අලංකාර ය . ක්ෂණයකට පමණි.

             මෙම ව්‍යංගය මීළඟ අවස්ථාවේ දී සේකරයන් මුදා හරී. කාන්තාවක් වැඩිවිය පැමිණි පසු මාසිකව සිදුවන ශාරීරික ක්‍රියාවන් පවා එක් කරමින් සේකරයන් රසික හදවත් තුළට ගීතය තුළම ජීවත් වන්නට ඉඩ හරී.


'කිව්වට වස් නැත නිල් නිල් පාටින්
කටරොළු මල් වැට වට කෙරුවා
තුන් දවසක් අමනාපෙන් සිටි කලු
නෝක්කාඩු බැල්මෙන් බැලුවා
'

                 මෙතැනදී කටරොළු මල් වැට වට කරමින් පිපී තිබීම අඟවන්නේ සුන්දර දෙයක්. ඒ එක්කම 'තුන් දවසක් අමනාපෙන් සිටි' යන යෙදුම සමග අප නොයෙක් ආකාරයට සිතන්නට පොලඹවනවා. මතුපිටින් බැලූවිට නම් පෙනී යන්නේ මේ යුවතිය ඔහු සමග අමනාප වී හිඳ තිබෙනවා කිසියම් දෙයකට. නමුත් මේ 'නෝක්කාඩු බැල්ම' නිසාවෙන් අපට සිතන්නට වෙනවා ඇය ටිකක් ගනන් උස්සන තැනැත්තියක් විලසට. හැබැයි ඇය ඔහුට ආදරෙයි, ඒ බව මෙයින් ඔප්පු වෙනවා. ඊලඟ පද පේලි වලින් ඔහු ඇයගේ ආදරය සහ අවධානය ලබා ගැනීමට ආයාචනා කරන අයුරක් දිස්වෙනවා.




'හිනාවෙයන් කලු හිනාවෙයන්'



        නමුත් මෙහි ඊට වඩා ඇතුලාන්තයක් දකින්නට පිලිවන්. මහගමසේකරයන් ආවාට ගියාට වචන යොදාගන්නෙක් නොවන  බව ඔහුගේ නිර්මාණ කියැවූ ඕනෑම අයෙකුට තේරුම් යාවි. මේ නිසාවෙන්ම මේ ගීතයේ 'තුන් දවසක් අමනාපෙන් සිටි කලු' කියන යෙදුම ගැන සලකා බැලීම වටිනවා. කාන්තාව සහ තුන් දවස යන පද අතර යම් ගැලපීමක් තිබෙනවා.



       'කිලි' කියනා දේ ඔබ අසා තිබෙන්නට පුලුවන්. අපි මළගෙදරක ගිහිල්ලා ආ විගසම නාලා පිරිසිදුවෙන්නේ මේ 'කිලි' නිසා. අපේ ජන වහරේ තිබෙනවා 'කිල්ලට අහුවෙලා' කියන යෙදුම්. ඉතින් මේ කිලි කියන්නේ අපිරිසිදු බව. නමුත් එය අප දන්න අපිරිසිදු බවෙන් වෙනස්. කාන්තාව සම්බන්දයෙනුත් මේ 'කිලි' කියනා වචනය භාවිතා වෙනවා. ගැහැණු ළමයෙක් මල්වර වීමෙන් පසු හට ගන්නා ඔසප්වීම නිසා 'කිල්ලක්' ඇතිවෙනවා කියා පිලිගැනෙනවා. මෙම කිල්ල දවස් තුනක් පවතින අතර අවසානයේදී ස්නානය කිරීම මගින් නැතිවී යන බවත් පිලිගැනෙනවා.



        ඉතින් මේ ගීතයේ එන'දවස් තුනක් අමනාපයෙන් සිටීම' මේ හා අපූරුවට බැඳෙනවා. ඊට පසු නෝක්කාඩුවෙන් බලන්නේ ඇයි? සමහර විට ලැජ්ජාවට වෙන්නට පිලිවන්. නෝක්කාඩුව යන වචනයේ ආදරය කියනා දේ ගැබ්වෙලා තිබෙනවා. මෙය හුදෙක් ගැහැණුන් සමග යාවන්නක්. 

         මෙම අදහස අන්තර්ජාලයෙන් හමු වූවක්. කටරොළු මල යොදාගෙන තියෙන්නෙත් ඔය කියන, මුළු ගීතය පුරාම දිවෙන යටි අදහසටම සංකේතයක් ලෙසට බව ඔහුගේ අදහස. මමත් ඒ අදහසට එකඟ වෙනවා. කටරොලු මල සාමාන්‍ය වයවහාරයේදී නොයෙක් නම් වලින් හැඳින්වෙනවා, Asian pigeonwings,bluebellvine, blue pea, butterfly pea, cordofan pea සහ Darwin pea ලෙස. එහි විද්යාත්මක නාමය වන්නේ Clitoria ternatea. කටරොලු මලට මේ නාමය යොදාගන්නේ එය ස්ත්‍රී බාහිර ලිංගික අවයවයේ ස්වරූපය ගන්නා බැවිනි. "clitoris" යන වචනයෙන් බිඳී ආවකි. 
         ඉතින් සේකරයන් කටරොලු මලම මේ සඳහා යොදාගැනීම අහඹුවක් විය නොහැකි බව මාගේ ද මතයයි.




'ගල මතුපිට මල පිපෙන්න

මල වට බඹරිඳූ නටන්න

වැහි වැහැලා ගඟ පිරෙන්න

ගඟ උතුරා හිත පිරෙන්න'



          මේ පද පේලි ගැයෙන්නේ මෙතෙක් ගීතයේ ආ තාලය වෙනස් කරමින්. අපි අපේ භාෂාවෙන් කියනවානම් මෙතැනදී පොඩි ගැම්මක් දීල තියෙනවා. සංගීතයත් ඊට අනුරූපීව වෙනස් වෙනවා පමනක් නොව ජීවයක්ද ඇති කරනවා. මෙතැනදී අපට සිතන්නට පිලිවන් මේ දෙදෙනා යම්කිසි ලිංගිල තෘප්තියක් ලබන්නට සැරසෙනවාදැයි කියා. ඒ කොහොම වුනත් මේ සිදුවීම් සොබාදහම සමග ගලපන්නට සේකරයන්ට ඇත්තේ පුදුමාකාර හැකියාවක්.



'ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ

හිනාවෙයන් කලු හිනාවෙයන්

වෙලා මගේ හිත හිනාවකින් තව

හිනාවෙයන් කලු හිනාවෙයන්.....'



           මේ අවසාන පද පේලි වලිනුත් අපට පෙනී යනවා මේ තරුණිය තරමක මාන්නයෙන් යුත් තැනැත්තියක් බව. නැත්නම් ඉතින් හිනාවෙයන් හිනාවෙයන් කියලා කියන්න ඕනේ නැහැනේ. මෙතැනදී මම මාන්නය කියන වචනය භාවිතා කලාට බොහෝ දෙනෙක් එය වරදවා වටහාගනී කියලා හිතනවා. මෙය ගැහැණියක් සතු සුන්දර ක්‍රියාවන් අතරෙන් එකක්. ආදරයක් ඔහේ ගලාගෙන යනවාට වඩා මේ ආකාරයෙන් ගනන් ඉස්සීම් අනෙක් පැත්තෙන් ආයාචනා කිරීම වාගේ තිබෙනා විට එහි තිබෙන සුන්දරත්වය ඉහල යන බව තමයි මගේ අදහස.



               සමහරෙක් මේ ගීතය සඳහා වැස්සක අර්තකතනයක් ලබාදෙන්නේ මා මේ කියනා අරුතට දරුනු ලෙස පහර එල්ල කරමිනි. සොබාව සෞන්දර්යය ගැන කියවෙන්නක් මිස මා මේ කියනා "තුන් දවසේ" සිද්දියක් නොවනාබව ඔවුන්ගේ මතයයි. නමුත් එතැනදී තුන්දවස යන්නට ඔවුන් හරිහැටි පැහැදිලි කිරීමක් ලබානොදේ. ඔවුන් පවසන්නේ වැස්ස නැතිව තුන් දවසක් සිටි බවයි. එසේනම් තුන් දවස යන්නම සේකරයන් යොදාගත්තේ මන්ද යන්න ගැටලුවකි. එලිසමයට හෝ තාලයට යතියට හානියක් නොවන පරිද්දෙන් තුන් දවස යන්න වෙනුවට වෙන පදයක් යොදාගැනීමේ හැකියාව සේකරයන්ට තිබුන බව ඔබ නොපිලිගන්නේද?.



                තුන් දවස අවසනදී සේකරයන් නෝක්කාඩු බැල්මක් ගැන පැවසීමද ඔවුන් හරිහැටි පැහැදිලි කරන්නේ නැත. එම නෝක්කාඩු බැල්ම වැස්සක් සමග යාවෙන අන්දම පැහැදිලි කිරීම කණා කොකාගේ සුද කීවාක්මෙනි.

නමුත් මේ අර්තකතනයේදී එය ඉතාම පැහැදිලිව විස්තර කල හැකිය. තුන් දවස ඇතුලත කිසිම එකතුවීමකට දෙදෙනාට ඉඩකඩ නොමැත. එය අවසානයේදී කාන්තාව නෝක්කාඩු බැල්ම හෙලන්නේ ආදරයක් සමගින් තම සහකරුවාගේ ඇරයුමට දෙන පිලිතුරක් ලෙසට බව සිතීම වරදක් ලෙස නොදකිමි. මෙය සුන්දර නෝක්කාඩු බැල්මක් මිස තරහවකින් කරන බැල්මක් නොවේ. ආදරය කරන්නන්ට මෙම අත්දැකීම විඳ ගැනීමට ඉඩ ලැබී ඇතිවාට සැකයක් නැත. 



                සිරි යහනේ , ගහක මල් පිපිලා, සඳකඩ පහනක වැනි ගීතවලට සමහරු ඔබ්බවූ ලිංගික අරුත් සඳහා මමද කිසිසේත්ම එකඟ නොවෙමි. මේ ගීතයෙන් සේකරයන් මෙවැනි අරුතක් ගෙන ආවායයි සිතන්නට බොහෝ දෙනා මැලිවෙති. එය ගීතයට කරනා අගෞරවයක් ලෙසට දකිති. සේකරයන් අද අප අතර සිටියානම් ඔහු මෙය ලියන්නට පාදක වු හේතුව සහ සැබෑ අරුත දැනගන්නට අපට ඉඩ තිබිණ.



           නමුත් කුමරියක පා සළඹ සැලුනා, මිනිසා මරණ තුනක් ඇති, සුමුදු සයනේ වැනි ගිත වල තිබෙනා සුන්දරවූ ඉදිරිපත් කිරීම පිලිගන්නා අතර සේකරයන්ගේ මේ ගීතය සඳා මේ අරුත සෑහෙන දුරකට ගැලපෙනබව පිලිගන්නට මැලිවෙන බොහෝමයක් සිටිති.



               සමහරුන් ව්‍යංගාර්ථය නොදැක මතුපිටින් පෙනෙනා වැස්ස සහ සොබාව සෞන්දර්වයේ ඇගයුමක් ලෙස මෙය පිලිගන්නේ මා කියනා අරුත නිසා සේකරයන්ට නිග්‍රහයක් වේ යැයි සිතනා නිසාත් වෙන්නට ඇත. නමුත් මෙය මා කිසිසේත් එසේ නොදකිමි. මෙය සේකරයන් කිසිවකු නොසිතනා පැතිකඩක් ව්‍යන්ගාර්තයෙන් නිර්මාණයක් ලෙස ඉදිරිපත්කල සුවිසේශී අවස්තාවක් ලෙස දකිමි. ගැරහුම් බැණුම් කොතෙකුත් මේ සඳහා ලැබී ඇත. මෙය කියවන ඔබගෙන් මා ඉල්ලා සිටින්නේ විවෘත මනසකින් මේ දෙස බලා සියලු කරුණු කාරනා හොඳින් වටහාගෙන ඔබගේ ස්වාධීන මතය..අදහස පවසන ලෙසට ය.

              කෙසේ නමුත් අවසානයේදී මා හට හැඟෙනුයේ, ආදරයකට එහා ගිය ස්‍ත්‍රීත්වය පිළිබඳ සියුම් ලෙස විමසුමක් කරන්නට ගත් උත්සාහයක සාර්ථක ප්‍රතිඵලයකි.



ඔබේ වටිනා අදහස් ගෞරවයෙන් යුතුව පිලිගනිමි.