Tuesday, October 24, 2017

නව ලොවට සාහිත්‍යය කුමට ද....?



නව ලොවට සාහිත්‍යය කුමට ද....?


නූතන කාර්යක්ෂම තාක්ෂණික යුගය තුළ එතෙක් පැවති විවිධාකාරයේ ප්‍රපංචයන් ප්‍රතික්ෂේප වීම නිරුත්සාහයෙන් ම සිදු විය. නමුත් ආරම්භයේ පටන් අද දක්වා ම සාහිත්‍යය ක්ෂේත්‍රය මානව සමාජය තුළ තවමත් ලැගුම් ගෙන තිබේ.

            ඒ අනුව නූතන ලෝකය තුළ සාහිත්‍යය ක්ෂේත්‍රෙයහි වැදගත්කම පිළිබඳ ව පිරික්සීමේ දී සාහිත්‍යය තුළින් මානව සමාජයට යම් අර්ථාන්විත යමක් සිදුවේ ද, සාහිත්‍යය නිර්මාණ පරිශීලනයෙන් සහෘදයන් වෙත යම් ලාභයක් අත්පත් වේ ද, විශේෂයෙන්ම කාර්ය බහුලත්වය හා අවිවේකය ප්‍රකටව පෙනෙන මෙවැනි වකවාණුවක දී සාහිත්‍යය අරඹයා කාලය වැය කිරීම නුවණට හුරු වන්නේ ද යන්න පිළිබඳව අවධානය යොමු කිරීම අවශ්‍ය වේ. මෙකී ගැටළු සියල්ල කෙරෙහිම සාධනීය පිළිතුරක් අපේක්ෂා කළ හැකි නම් අද්‍යතන සමාජයට සාහිත්‍යයඅත්‍යවශ්‍ය සංකල්පයක් ලෙස අර්ථ විවරණය කළ හැකිය. හුදෙක් සාහිත්‍යය වනාහි නිෂ්ප්‍රයෝජන දෙයක් නම් ඉතිහාසයේ සිට වර්තමානය දක්වා ම විවිධ නව ප්‍රවණතා වෙත අනුගත වෙමින් ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වෙමින් විකාශනය නොවනු ඇත. මන් ද යත් ස්වභාවයෙන්ම මිනිසාට නොවැදගත් දෑ නිතැතින්ම අභාවයයට පත්වන හෙයිනි.

            සාහිත්‍යය ඉතිහාසය පිළිබඳව විමසන කල්හි සාහිත්‍යයෙහි පවත්නා වූ වැදගත්කම පිළිබඳව ග්‍රීක දාර්ශනික ප්ලේටෝවිසින් බටහිර විචාරකයින් ද, භාරතීය අලංකාරවාදීන් වැනි පෙරදිග සාහිත්‍යෙව්දීන් ද විසින් පෙන්වා දී ඇත. මූලික වශයෙන්ම යමෙකුට සාහිත්‍යය වැදගත් වනුයේ, යම් රසවින්දනයක් විඳගැනීම සඳහා ය. එහිදී රසයක් යනු, හුදෙක් විනෝදාශ්වාදයක් පමණක් නොව ඉන් එහා වපසරියක විහිදෙන්නා වූ ගැඹුරු සිද්ධාන්තමය තත්ත්වයක් ද වේ.

            ඒ තුළ උසස් මට්ටමේ සාහිත්‍යය නිර්මාණ පරිශීලනයෙන් පුද්ගලයෙකු තුළ පවත්නා වූ ජීවිතාවබෝධය පුළුල් වේ. සංකීර්ණ ජීවන රටාව තුළ එක්තරා රාමුවකට සීමා සහිත සහෘදයන් විවිධ දිශානතීන් වෙත යොමු කිරීමේ හැකියාවක් සාහිත්‍යය සතු වේ. එනම්, සාහිත්‍යය කරුවා මුහුණ පාන ලද්දා වූ හෝ වෙනත් පාර්ශවයක අත්දැකීමක් හෝ පදනම් කොට ගෙන එකී අනුභූතීන් කලාවට පරිවර්තනය කිරීම සිදු කරනු ලබයි. ඒ තුළ සමාජයේ සංකීර්ණ සබඳතා, විවිධ ගට්ඨන - අර්බුද ආදිය විනිවිද ව නොයෙක් නිර්මාණ ඔස්සේ විදහා දක්වයි. එහිදී සාහිත්‍යකරුවා ඉදිරිපත් කරන ජීවන ප්‍රවෘත්තියන්හි අන්තර්ගත මානුෂීය සම්බන්ධකම් සියුම් ලෙස විග්‍රහ කිරීමට සමත් වූ තරමට අදාළ සාහිත්‍යය නිර්මාණය ද රසවත් වේ.

            නූතන සමාජ පුගමනය තුළ තරඟකාරී භූමිකාවන් තුළ රඟන මනුෂ්‍යයා සමස්ථ ලෝක ධාතුවෙන්ම ව්‍යාකූලව ජීවත් වනු දැකිය හැකි ය. එනම්, විශ්වයට, සමාජයට, පරිසරයට මෙන්ම ඒ තුළ වෙසෙන සතුන් - සිව්පාවුන්ට ද, ගස් - වැල්, ඇළ - දොළ ආදිය කෙරෙහි ද තැකීමකින් තොරව කටයුතු කරති. ඒ නිසාවෙන්ම සමාජ දූෂණ, සංස්කෘතික දූෂණ, පරිසර දූෂණ ආදිය නොඅඩුව ලොව පුරා පැතිරෙමින් පවතී. මේ තුළින් හුදෙක් මානවයා නොදැනුවත්ව ම තමාගේ පරිහානියට අත වැනීම සිදුවෙයි. එසේ හෙයින් සමස්ථ ලෝක ධාතුවට ම සංවේදී වූ මනුෂ්‍ය පුජාවක් නූතන ලෝකය ට අවැසිම කාලයක් උදාවී ඇත. පළමුව මිනිසා - මිනිසාට ද, දෙවනුව සමස්ථ විශ්ව සංහතියටම ද ආදරය කිරීම ට පෙළඹීම අවශ්‍ය වේ. ඒ සඳහා මනුෂ්‍යත්වය හඳුනන සංවේදී මානව සංහතියක පැවැත්ම අවශ්‍ය වේ. එකී කාර්යය කෙරෙහි ලැබෙන්නා වූ සාහිත්‍යය නිර්මාණයන් හි දායකත්වය සුළු කොට තැකිය නොහැක. නමුත් එවැනි විශිෂ්ඨ වූ ද, සාධනීය මට්ටමේ පවත්නා වූ ද සාහිත්‍යය නිර්මාණ බිහි වනවා ද යන්න ගැටළුවකි.

            මෙසේ හෙයින් සමස්ථ විශ්වයේ ම යහපැවැත්ම උදෙසා සංවේදී මනුෂ්‍ය ප්‍රජාවක් දායාද කිරීමෙහි ලා සාහිත්‍යය සතු ශක්‍යතාව මත නව ලොවට සාහත්‍යය කුමට දයන ගැටළුවට තර්කානුකූල පිළිතුරක් හමුවන බව නොඅනුමාන ය.

Sunday, October 22, 2017

භාෂාව

භාෂාව

හුදෙකලාවෙන් මිදී නිරන්තරයෙන් සන්නිවේදනයේ යෙදෙන්නා වූ සාමූහික සත්ත්වයෙකු ලෙස මනුෂ්‍යයා අන් සත්ත්ව කොට්ඨාසයන් අතුරින් වෙන්කර හඳුනාගත හැකි ය. ඒ තුළ අන්‍යෝන්‍යය සබැඳියාව හා සාමූහික හැඟීම ගොඩ නඟන්නා වූ ප්‍රබලතම කාරකය භාෂාව වෙයි. මේ නිසාවෙන්ම මිනිසා සතුන්ගෙන් වෙන් ව සංකීර්ණ අදහස් පළ කිරීම සඳහා ගොඩ නගන්නා ලද සංවිධානාත්මක ව්‍යූහයක් ලෙස භාෂාව හඳුනාගත හැකිය.



භාෂාව ප්‍රධාන කොටස් 02ක් යටතේ හඳුනාගත හැකි අතර ඉන් භාෂණයයනු, කථනය යන සංකල්පයයි. මේ තුළ කතා බහ කිරීම සහ වාචිකව අදහස් හුවමාරු කර ගැනීම සිදු වේ.
v  රැස්වීම්
v  දේශන
ලේඛනය යනු, ලිවීම සහ ලියා ඇති සමස්ථය වෙයි.
v  පුවත්පත් වාර්තා.
v  දැන්වීම්
භාෂාව මෙම ද්වි අංගයන් යටතේ හඳුනාගත්ත ද ලොව ව්‍යාවහාරික සෑම භාෂාවකම පාහේ මෙම අංග දෙකම අඩංගු නොවෙයි. එනම්, ඇතැම් භාෂාවන් කථනය හෙවත් භාෂණයට පමණක් සීමා වනු හඳුනාගත හැක.

v  වැදි භාෂාව
v  ගෝත්‍රික භාෂා
මේ අනුව විමසා බලන කල්හි යම් භාෂාවක ප්‍රාථමික පියවර භාෂණය වන අතර එහි ද්විතීයික පියවර ලේඛනය ලෙස අර්ථ ගන්වා ගත හැකිය.

හුදෙක් පොදුවේ භාෂාවෙහි විවිධ ස්වරූප හඳුනා ගත හැකි අතර මානව සන්නිවේදනයේ හා සංජාතයේ විවිධ අවශ්‍යතා සහ උපයෝගිතාවයන් අරඹයා එම භාෂාවන් යොදා ගනු ලබයි.
v  රූප භාෂාව
v  සිනමා භාෂාව

මේ ආකාරයෙන් හඳුනා ගත්තා වූ භාෂාව යන්නෙන් ව්‍යුක්තව වූ කල්හි මානවයාට අත්වන ඉරණම පිළිබඳව තක්සේරු කළ හැකිවේ ද....?






Thursday, October 19, 2017

සාහිත්‍යය කලාවේ ආත්මයයි....

සාහිත්‍යය කලාවේ ආත්මයයි....

කලාව වනාහි මනුෂ්‍යයාගේ එක්තරා ආකාරයක ආත්මයකි. සාහිත්‍ය වූ කලී එකී කලාවේ ආත්මයක් වන්නේ ය. එසේ හෙයින් උත්තරීතර මනුෂ්‍යයත්වය හා අන්‍යෝන්‍ය සබැඳියාවෙන් වෙලී පවත්නා වූ කලාව සුවිශේෂී වටිනාකම් වලින් යුක්ත වෙයි. මිනිසා තුළ උත්තුංග මනුෂයත්වයේ රූ රටාවන් හැඩ කරලීමෙහි ලා කලාවේ සමර්ථය අසම සම වෙයි. හුදෙක් යම් පුද්ගලයෙකු ප්‍රඥාවෙන් අවබෝධය කරා පිවිසීමට යත්න දරන කල්හි ඒ කෙරෙහි වන්නා වූ කලාවෙහි භූමිකාව සුළු කොට තැකිය නොහැක. ඉදින් කලාව සියලු සහෘද සිත් සතන්හි සර්වකාලීනව නිදන්ගතව පැවතීම අරුමයක් නොවේ.

විශ්වීය රාමුව තුළ ලෝකය පණ ලබන තැන්හි කලාව මනුෂ්‍ය චින්තනය ගොඩ නැගීම, වර්ධනය කිරීම, හැසිරවීම මෙන්ම මෙහෙයවීම ස‍ඳහා දායක වෙයි. විෂම සමාජ තලය තුළ නිශේධන හරයන් බුර බුරා නැගෙන විට සංවේදීත්වය මනුෂ්‍ය සන්තානය තුළට කාවැද්දවීමට තරම් බලයක් කලාව සතු වන්නේ ය. එසේ හෙයින් මිනිසාගේ නිර්මාණාත්මක චින්තනය සංවේදී හරයන් හා කැටි කොට ගනිමින් සමාජ ප්‍රගමනය කෙරෙහි සක්‍රීයව දායක කිරීමට කලාව තුළින් ප්‍රබල පෙළඹවීමක් සිදු වනු ඇත.

කලාව හා සිදුවන මනුෂ්‍ය ගනුදෙනුව ප්‍රාථමික සමාජය දක්වා දිව යයි. විවිධාකාර වූ ස්වරූප රැසක රාශිගත වීමත් සමග එදා සිට අද දක්වා කලාව විවිධ නව්‍යතා එක් කර ගනිමින් වර්ධනය වී ඇත. එනම්, ඒ තුළ, චිත්‍ර කලාව, මූර්ති කලාව, කැටයම් කලාව,  නාට්‍ය කලාව, නර්තනය, සිගීතය යනාදිය මෙන්ම සාහිත්‍ය කලාවට හිමි වන්නේ ද අද්විතීය වැදගත්කමකි. මන්ද යත් සාහිත්‍ය වනාහි කලාවේ එක් අංගයක් පමණක්ම නොවන බැවිනි. එනම්, ගද්‍ය, පද්‍ය, චම්පු ශාස්ත්‍රයන්ගෙන් අනූන වන සාහිත්‍යය තව දුරටත් කෙටි කතා, නව කතා, ගීත, කාව්‍ය, නිසදැස්, නාට්‍යය, ප්‍රබන්ධ ලෙස ද ප්‍රෙභ්දනය කළ හැකි වෙයි. එබැවින් කලාව තුළ නින්නාද වන්නා වූ සාහිත්‍යවිෂය පදමන් කර ගනිමින් පුළුල් අධ්‍යයනයක යෙදීම කාලොවිත වෙයි. මන්ද යත් තරඟතාරී සමාජ රටාව තුළ අව්වේකය මත ධනය - බලය හා ගට්ඨනය වෙමින් මනුෂ්‍යත්වයෙන් බැහැරව කටයුතු කරන මිනිසුන්යැයි නම් පට බැඳ ගත්තා වූ සත්ත්ව කොට්ඨාසය යළි මනුසත්කමේ සම්මතයක් වෙත සමීප කරමින් එහි කිරුළු දරන්නට මං පෙත් විවිර කිරීම සඳහා සමාජ වගකීමක් ඔබටත්  මටත් පැවරෙන නිසාවෙනි.


ඉදින් මනුෂ්‍යත්වය රජයන සමාජයක් තුළ මිනිස්කම නිසි ලෙස අවබෝධ වූවන් පිරිසක් බිහි කරනු වස් කලාව වෙත සංවේදීව නිර්ණාත්මක චින්තනය සාහිත්‍යයක්ෂේත්‍රය ඔස්සේ පෝෂණය කිරීමේ අරමුණු පෙරදැරි කොට ගෙන සාහිත්‍යය විෂය දෙස පුළුල් කෝණයකින් සංවේදී වීමට මෙතැන් පටන් මංපෙත් විවර කරමු.